Rupane Episode 234 – March 06 2021
Online Video Magazine for Sri Lankan Community in Canada”
සංදේශ කාව්‍ය තුළින් මැවෙන රූ රටා
සිංහල සාහිත්‍යයේ වර්ණවත් සලකුණක් ලෙස සංදේශ කාව්‍ය හඳුනාගත හැකි වේ. එම කාව්‍යොක්ති සිංහල සාහිත්‍ය පෝෂණයෙහිලා එකතු කරන්නා වූ විචිත්‍රත්වය අදටත් විශිෂ්ටයි. මේ පිළිබඳව විද්වත් කතිකාවතක් වෙනුවෙන් රූපන සඟරාමය වැඩසටහන හා එක් වූ ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය ප්‍රකාශ කළේ ගම්පොළ යුගයේ සිංහල සාහිත්‍යයට එක් වූ මුල්ම සංදේශ කාව්‍ය ලෙස සැලකෙන මයුර සංදේශයත් එම යුගයේම ඉන් පසුව ලියැවුණු තිසර සන්දේශයත් හඳුනාගත හැකි බවත්ය. ලක්දිව සාහිත්‍යය පෝෂණය කළ සිංහළ සංදේශ කාව්‍යයන්ට ඉන්දියාවේ කාලිදාසයන් අතින් ලියවුණු මේඝදූතය වැනි සංදේශයන්ගේ ද ආභාෂ කරගන්නට ඇති බවයි.එතුමිය තවදුරටත් සංදේශ යුගය පිළිබඳ පැහැදිලි කරමින් කියා සිටියේ කෝට්ටේ යුගය සිංහල සාහිත්‍යයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවයි.මෙම යුගයේ ලංකාවේ විශිෂ්ඨ සංදේශ කාව්‍යයන් කිහිපයක්ම රචනා වූ අතර සිංහල සාහිත්‍ය පෝෂණයට එම යුගයේ විශාල දායකත්වයක් ලැබුණු බවයි. එම යුගයේ පැවැති සාමකාමී තත්ත්වය මෙන්ම එවකට පාලකයා වූ 6 වන පැරකුම්බා රජුගෙන් සාහිත්‍ය වෙනුවෙන් ලැබුණු දායකත්වය මීට හේතු වූ බවයි. එම නිසාවෙන්ම සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස කෝට්ටේ යුගය හඳුන්වන බවයි.
සංදේශයක් රචනා කිරීමේ දී කිරීමේදී පැහැදිලිව හඳුනාගත හැකි ලක්ෂණ 04 කින් සමන්විය යුතු බව ඇය සඳහන් කරයි.එනම් සංදේශය යවන්නා ප්‍රේශක,සංදේශය ගෙනයන්න හාරක, සංදේශය ලබන්නා ග්‍රාහක, පණිවිඩය හෙවත් සංදේශය ලෙස කොටස් හතරක් වේ.තවදුරටත් සංදේශ පිළිබඳ පැහැදිලි කරමින් ඈ සඳහන් කළේ සංදේශයක් රචනා කිරීමේදී පිළිපැදිය යුතු නීති රීති කිහිපයක් ඇති බවයි. ග්‍රන්ථය මුල හා අග දූතයාට ආශිර්වාද කිරීම, දූත වර්ණනාව, කටයුතු නිදෙස ,නගර වර්ණනාව, රාජ වර්ණනාව ,රාජ රාජසභා වර්ණනාව, මාර්ග වර්ණනාව ජල ක්‍රීඩා වර්ණනාව —
සංදේශයක් තුළ ඇතුළත් තුල ඇතුලත් විය යුතු බවයි. මෙම නීති එකතු කරගනිමින් ප්‍රතිභාපූර්ණ කාව්‍යෝක්තියක් දැක්වීම ඉතා අපහසු කාර්යයක් බව ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කරයි.සංදේශ කාව්‍යක් පිළිබඳ කතා කතාකිරීමේදී ප්‍රධානතම සංදේශ කාව්‍යය ලෙස මතකයට එන්නේ කෝට්ටේ යුගයේ රචිත සැලළිහිණි සංදේශය. ඒ පිළිබඳව විචාරය කරමින් ආචාර්ය චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ සිංහල සාහිත්‍ය ඉතිහාසයේ ලියවුණු කෙටිමවූ කවිත්වයෙන් අනර්ඝ වූත් ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුනේ රාහුල හිමියන් රචනා කළ අපූර්වතම සංදේශය විසුශේෂ වන බවයි. ජයවර්ධනපුර කෝට්ටේ සිට කැලණිය දක්වා කෙටිම ගමනක් යන අපූර්ව ස්වභාවෝක්ති වර්ණනා වර්ණනා වකින් හැඩගැන්වූ සංදේශ කාව්‍යයක් ලෙස සැළලිහිණිය හඳුනාගත හැකි බවයි.
“ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී….
දෙන නොමදා සිරි සඟමොක් සැප නිසැදී…
ලද මුනිදා දම් කඳ පහස මන බැඳී…
වඳු දළදා හිමි තෙමහල් පහස රැඳී…”
තෙමහල් පහ යේ වැඩ සිටින බුදුන් ගේ ශ්‍රී සද්ධර්ම ස්කන්ධයේ පහස ලද දන්ත ධාතුන් වහන්සේ කෙරෙහි ඇතිවූ මහා භක්තිය සෞම්‍ය ගුණය මෛත්‍රි ගුණය බුදුන් වහන්සේ පිළිබඳ ඇතිවූ මහා කරුණා ගුණය පෙන්වීමට සුද්ද පැහැ සඳ රැසෙව් වැනි යෙදුම් භාවිතා කර ඇති බව එතුමිය සඳහන් කරයි. රාහුල හිමියන්ගේ කවිත්වය පිළිබඳ පෙන්වීමට මේ කදිම උදාහරණයක් බව ඇය පෙන්වා දෙයි
විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී
නලඟන රැඟුම වැයෙන මෙම කවි පද යොදා ගෙන ඇති වචනවල හැඩයෙන් රසය ඉදිරිපත් කිරීමට දැක්වූ සමත් බව විස්තර කරමින් එතුමිය සදහන් කළේ “විදෙන ලෙළෙන, හෙලෙන, නගන,රිවින, දිලෙන, සැලෙන යන වචන හරහා ද්වනි රසයෙන් උද්දීපනය කර නාට්‍යංගනාවගේ ලාස්‍ය නැටුම් ඉදිරිපත් කිරීම පාඨකයා වෙත සන්නිවේදනය කිරීමට රචකයා දැක්වූ සමත් බව යි.නාට්‍යංගනාව ගේ රංග ලීලාව චිත්‍රනය කිරීමට යොදාගත් උපමාලංකාර ඉතාමත් විචිත්‍ර බව දක්වමින් එතුමිය සඳහන් කළේ “සැලෙන පහන් සිළු වැනි” නලඟන රැඟුම ඉදිරිපත් කරන නාට්‍යංගනාව දැල්වූ පහනක සිළුව සැලෙන්නාක් මෙන් ලාලිත්‍යයෙන් රඟදෙන බවයි.
“මල්දම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි
කල්ගිම් නිවා සැනහෙන සිහිලස රසිනි
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම දැක යාගන් සහතොසිනි”
දුතයා පසුකරගෙන යන මාර්ගය මුණගැහෙන වල් අම්බලම අසල වූ විලේ දිය කෙළින ලදුන් පිළිබඳව හා ඔවුන්ගේ සුන්දරත්වය වැනීම මෙයින් ගෙනහැර දක්වා ඇති බව ආචාර්යතුමිය සඳහන් කරයි. එහිදී ස්ථාන 5ක යතිය තියමින් කාව්‍නිර්මාණයට කවියා දැක්වූ පාණ්ඩිත්වය අති විශිෂ්ඨ බව එහිදී අර්ථ රසයට හානි නොවීමට කවියා දැක්වූ ප්‍රතිභාව ඇය පැහැදිලි කරයි.
කෝට්ටේ යුගයේ ලියැවුණු සරල කාව්‍යෝක්තියකින් යුත් හංස සංදේශය කෑරගල වනරතන පිරිවෙණ වෙත සිරි පැරකුම් රජුට සෙත් පැතීම උදෙසා යැවූ සංදේශ වාක්‍යයක් බවත් මේ අනෙක් සංදේශ කාව්‍යයන් ට වඩා වෙනස් වන්නේ මේ තුළ වූ බෞද්ධ සාහිත්‍යයට වැඩි නැඹුරුවක් දැක්වීම බවත් පැහැදිලි කරන ආචාර්ය ස්වර්ණා චන්දසේකර මහත්මිය සඳහන් කරන්නේ මෙහි දී රජුට සෙත් පතන්නේ රතන සූත්‍රය ලක්ෂවාරයක් පිරිත් කර ඒ පින දෙවියන්ට පිරිනමා ඒ තුළින් රට සුභාශිංශනය කිරීමට බවයි.හංසය පිළිබඳව විචාරක මතය වන්නේ සරල කාව්‍යකරණයක යෙදුණු සංදේශයක් බව වුවත් ඇයගේ මතය වන්නේ දිය කෙළි වැනුම තුලින්ද කවියාගේ ප්‍රතිභා ශක්තිය මනාව පිළිබිඹු වන බවයි.
“මිනිසෙක් දිය පීනා යයි එතෙරට
අඟනක් දිය පීනා එයි මෙතෙරට
පහරක් දුන් සරණින් ඔහු සිරසට
අනිකෙක් ඇඬුවා එසඳෙහි දුර සිට”
මෙහිදී පෙන්වන අවස්ථා නිරූපණය තුළ මනෝභාවය නිරූපණය ට කවියා දැක්වූ හැකියාව විශිෂ්ට බවත් ඇගේ මතයයි. මෙම කවිය තුළින් කෙටි කතාවකින් කියැවෙන කතාවක් විදහා දැක්වෙන බව ඇය සඳහන් කරයි.
පැසෙයි නිබද සුවදැල් නිබඳ සුවඳැල් කෙත් වත් අවට —
“පැසෙයි නිබද සුවදැල් කෙත් වත් අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස දුට”
සරුසාර ව වැඩුණු කෙත්වතු උම්බෑ හඬ නංවන වසු පැටියන්, මෙම සශ්‍රීක පරිසරය තුළ සුරවිමනක් දිස්වෙන වෙහෙර පිළිබඳව සංකල්ප රූප චිත්‍රනයට කවියා දැක්වූ හැකියාව මෙන්ම වැවයි දාගැබයි ගමයි පන්සලයි යන සංකල්පය විදහා දැක්වීමට කවියා සමත් වූ බව එතුමිය පෙන්වා දෙයි.
ගිරා සංදේශය විචාරීමේ දී මෙහිදී කවියා දැක්වූ වියක්ත බව ප්‍රතිභා පූර්ණ බව මනාව හඳුනාගත හැකි බව විචාරකයින් පිළිගන්නා කාරණයක් බව එතුමිය සඳහන් කරයි. ගිරා සංදේශය ලියැවී ඇත්තේ හංසයට පිළිතුරු වශයෙන් බවද සඳහන් කරන ආචාර්ය ස්වර්ණා මහත්මිය ඒ පිළිබඳව තවදුරටත් සඳහන් කරන්නේ එවකට විසූ භික්ෂූන් වහන්සේලා අතර වූ මතභේදාත්මක කාරණා වලට පිළිතුරු සැපයීමට කාව්‍ය සාහිත්‍ය යොදාගත් බවයි.
“පියකරු තෙනෙන් පැරද පිවිසි වන විල
පිවිතුරු හසුන් එන ලෙස යළි ගෙදිගු විල
පිවිතුරු මෙපුරවන අඟනන් වෙමින් ලොල
පියයුරු පටින් බැඳ වසතියි සිතේ බල”
ගිරා සංදේශයේවූ පුරස්චීන් ඉතා ලස්සනයි. ඔවුන්ගේ අඟපසඟ පිරිපුන්ව ඇති බව ද හංසයින් ඔවුන්ගේ පිරිපුන් පියයුරු වලට පරාජය වූ බවත් ඒ නිසාම ඔවුන් ලැජ්ජාවෙන් කැලේට පලා ගිය බවත් හංසයින් ලැජ්ජාවට පත්වීම නිසා එවකට කාන්තාවන් තම පියයුරු රෙදි කඩකින් වසා ගත් බවත් කවියා බොහෝ අපූරුවට කවි හරහා විද්‍යමාන කිරීමට සමත් වූ බව ආචාර්යතුමිය සඳහන් කරයි.
“සෙදනා ලොවිනා ළ ඳු නා ලෙසිනා – ර ළි නා ලෙළෙනා සොබනා ගතිනා
නඳනා ග ඟ නා කෙළනා ලියනා – ද කිනා ම ති නා හ ද නා තොසිනා”
මෙම කවියේ දී කවියා දැක්වූ පාණ්ඩීත්වය මෙන්ම ප්‍රතිභාව මනාව හඳුනාගත හැකි අතර නාග කන්‍යාවන් ලෙස කාන්තාවන් පිහිනා යන ආකාරය දැක්වීමට වචන හරඹයෙන් ද්වනිරසය හරහා අර්ථ නිරූපණයට කවියා සමත් වූ බව මෙයින් හදුනාගත හැකි වන බව සඳහන් ආචාර්යතුමිය ගිරා කවියාගේ ව්‍යුක්ත බව මෙයින් පෙන්නුම් තරන බව සඳහන් කරයි.
මෙලෙස සිංහල සාහිත්‍යය පෝෂණයෙහිලා සංදේශ කතුවරුන් අතිවිශිෂ්ඨ දායකත්වයක් සංදේශ රචනය හරහා දැක්වූ බව අවසන් වශයෙන් ඇය සඳහන් කරයි.