Rupane Episode 267 – October 23 2021

23 October 2021 617 Views

MeidicAid Sri Lanka ආයතනය මගින් කරන සමාජ සත්කාරය..


Rupane Episode 267 – October 23 2021
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

ශ්‍රී ලංකාවෙන් ඈතක ජීවත් වුවද තම උපන් බිමට ආදරේ කරන කණ්ඩායමක් එක්ව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට පිහිටුවාගත් සංගමයක් ලෙස මෙඩිකේඩ් ශ්‍රී ලංකා පිළිබඳව අද රූපණ හරහා කතාබහට එක් වූයේ එහි සභාපති ජෙමීනා පෙරේරා මහත්මිය හා එහි අධ්‍යක්ෂ පාලිත සෙනෙවිරත්න මහතායි .

කැනඩාව තුළ තුළ ක්‍රියාත්මක වන මෙම සංගමය පිළිබඳව මුලින්ම අදහස් දක්වමින් මෙහි සභාපති ජෙමීනා පෙරේරා මහත්මිය සඳහන් කළේ මෙය ලාභ නොලබන සංගමයක් ලෙස මීට මාස හතරකට පෙර ලියාපදිංචි කළ බවයි .මීට පෙර කැනඩාවේදී මෙය ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා කැනඩාවේ western  buddhist temple ද සම්බන්ධ වූ අතර තවදුරටත් එම පන්සල හා එහි වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ උපකාර සහිතව මෙය ක්‍රියාත්මක කරන බව එතුමිය සඳහන් කරයි.මෙමගින් මේ වන විට මූලිකවම සිදු කරනු ලබන්නේ කැනඩාවේ රෝහල් වලින් ඉවත් කෙරෙන තවදුරටත් භාවිතයට ගත හැකි රෝහල් භාණ්ඩ හා උපකරණ ලංකාවේ අඩුපාඩු සහිත රෝහල්වලට ලබාදීම යි.

එහි අධ්‍යක්ෂ පාලිත සෙනෙවිරත්න මහතා මෙම සාකච්ඡාව හා සම්බන්ධ වෙමින් සඳහන් කළේ දැනට මාස හතරකට පෙර මෙම ආයතනය ලියාපදිංචි වුවද, දැනට වසර පහකට පමණ පෙර සිටම මිසිසාගා විහාරස්ථානය හා එක්ව මෙම සත්කාරය සිදු කරන බවයි.මේ වන විට මෙලෙස භාණ්ඩ රැගත් බහලුම් කිහිපයක්ම ලංකාවට යවා ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි .මේ පිහිටුවාගැනීමට මූලිකවම ගයාන් ජයරත්න තරුණ මහතාගේ අදහසක් අනුව සිදූ අතර ඒ සඳහා චමිලා හා සොන්ඩස්  යුවලද පාර්ශවයක් ලෙස කටයුතු කරන බව ජෙමීනා මහත්මිය කතාබහ තුළ සඳහන් කළා.පසුගිය දස වෙනිදා ලංකා වෙත යැවීමට කටයුතු කළ කන්ටේනරයට භාණ්ඩ එක් රැස් කර ගැනීම සඳහා කැනඩාවේ රෝහල් මෙන්ම මේ පිළිබඳව දැනගත් පිරිසකගේ ධන පරිත්‍යාගය ද ලැබුණු බව ජෙමීනා මහත්මිය සඳහන් කරයි.තවදුරටත් ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ එම බහලුම් තුළ ඇඳන් විස්සක් පමණ, කොට්ට, රෝද පුටු, කිහිලිකරු, වැසිකිලි, nasal feeding unit හා ලංකා මුදලින් ලක්ෂ හතළිහක් පමණ වටිනා ultrasound උපකරණ කට්ටල ද, සනීපාරක්ෂක උපකරණ පිළිකා රෝහලේ සිටින කුඩා දරුවන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම් හා සෙල්ලම් බඩු වැනි උපකරණ හා භාණ්ඩ රැසක් තිබූ බවයි.

මෙලෙස කැනඩාව තුළින් යවන සියලු භාණ්ඩ නවීන තාක්ෂණය සහිත භාවිතයට සුදුසු භාණ්ඩ ලෙස කැනඩාවේ bio chemical ආයතනය මගින් නිර්දේශිත භාණ්ඩ පමණක් බවත් පාලිත මහතා සඳහන් කරයි.මෙලෙස යවන භාණ්ඩ  ශ්‍රී ලංකාවේදී බෙදා හැරීමට ,එම භාණ්ඩ ලබා දුන් දානපතියන්ගේ ශ්‍රී ලංකාවේ ජීවත් වන පවුල් වල සාමාජිකයින්ට ද සම්බන්ධ වීමට අවස්ථාව ඇති බවත් මෙම ක්‍රියාවලිය විනිවිද භාවයකින් යුක්තව සිදු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

මෙම සත්කාරය සඳහා මෙවැනි භාණ්ඩ ලබාදීම හරහා මෙන්ම එම එක් රැස්කර ගන්නා භාණ්ඩ ගබඩා කිරීමට ගබඩා පහසුකම් ලබා දීමෙන්ද හැකි කෙනකුට මේ සඳහා සම්බන්ධ විය හැකි බවත්,භාණ්ඩ ප්‍රවාහනය සඳහා කැනඩාව තුළ ජීවත් වන ට්‍රක් රථ රියදුරන්ට තමන් තම සහයෝගය මෙම සත්කාරය සඳහා ලබා දිය හැකි බව පාලිත මහතා තවදුරටත් සදහන් කළා.ඔවුන් මෙහිදී තවදුරටත් සඳහන් කළේ මේ පුණ්‍ය කර්මය සඳහා කැනඩාව තුළ ජීවත්වන අයගේ දායකත්වය ඉහළින් අපේක්ෂා කරන බවයි.ඒ අනුව වැඩිහිටි නිවාස රෝහල් වැනි ස්ථානවලින් භාවිතයට ගත හැකි හොඳ තත්වයේ භාණ්ඩය ඉවත් කරන අවස්ථාවල දී ඒ පිළිබඳව තම සංවිධානය දැනුවත් කිරීම ඉතා වැදගත් බවත් එම ආයතන හා සම්බන්ධ වී එම භාණ්ඩ ලබා ගැනීමට තමා ඇතුළු කණ්ඩායම් කටයුතු කිරීමට සූදානම් බවත්ය.ඒබැවින් යම් අයෙකුට ඒ පිළිබඳ තොරතුරු සැපයීමද ඉතා වැදගත් බවයි.

මෙවැනි බහලුම් ලංකාවේ රෝහලක් වෙත ලැබීමට කැනඩාවේ නැව් ගත කළ කාලයේ සිට මාස දෙකක් පමණ ගත වන බවත් ඇය තවදුරටත් කියා සිටියා.මෙලෙස නැව්ගත කරන භාණ්ඩ ලංකාව තුළ දී රේගුව මගින් නිදහස් කර ගැනීමට තම සංගමය මගින් වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත් ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඍජුවම කටයුතු සිදු කරන බවත් පාලිත මහතා සඳහන් කළා.මේ සදහා මෙම  භාණ්ඩ කැනඩාවෙන් යැවීමට පෙර යවනු ලබන භාණ්ඩ හි තොරතුරු ලංකාවට යැවීමට කටයුතු කරන අතර ඒම තොරතුරු ලංකාවේ දී  භාණ්ඩ නිදහස් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය බවත් මෙම කටයුතු සඳහා සුමනසිරි ගමගේ මහතා ලංකාවේදී සහයෝගය ලබාදෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

අවසානයේ යැවූ බහාලුම ශ්‍රී ලංකාවේ තංගල්ල රෝහලට යැවූ අතර ඒ හා සම්බන්ධීකරණ කටයුතු සිදු වුයේ චමිලා හා සොන්ඩස් දෙපෙළ ලංකාවට ගිය අවස්ථාවේදී තංගල්ල රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයකුගේ තොරතුරු වලට අනුව එහි අලුතින් ඉදි කිරීමට නියමිත වූ පිලිකා වාට්ටුවක් වෙනුවෙන් බව ජෙමීනා මහත්මිය සඳහන් කළා. මුලින්ම මෙම භාණ්ඩ ලංකාවට ලබාදීමට කටයුතු කළේ මීට වසර හතරකට පමණ පෙර ලංකාව තුළ පිළිකා රෝහල ආශ්‍රිත වූ සිදුවීමක් රූපවාහිනිය හරහා  දැකීමෙන් බව එහිදී කිමෝතෙරපී සිදුකළ පිළිකා රෝගී මවුවරුන් බිම පැදුරක් මත සිටින දසුන් පෙළක් නැරඹීමෙන් ඇති වූ සංවේදී තත්ත්වයක් බවත් පාලිත මහතා සඳහන් කරයි.එදා සිට මේ දක්වා රෝහල් සේවා මණ්ඩලයේ සුබෝධි ස්වාමීන්වහන්සේ ගේ ද සම්බන්ධ වීමෙන් මෙම පුණ්‍ය කර්මය සිදු කරගෙන යන බව පාලිත මහතා තවදුරටත් සඳහන් කරයි.

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහලක් වෙත මෙලෙස භාණ්ඩ ඉදිරියේදී ලබා දීමට තම සංගමය කැමැත්තෙන් පසුවන බවත් ලංකාවේ වෙහෙර විහාර විහාරස්ථාන පල්ලි හා කෝවිල් වැනි ස්ථානවලට රෝද පුටු වැනි උපකරණ ලබා දීමටත් තමා ආයතන තවදුරටත් බලාපෙරොත්තුවන බවද සඳහන් කළා.

මෙම සත්කාරය කරගෙන යාම සඳහා භාණ්ඩ හා භාණ්ඩ ගබඩා කිරීම සඳහා ස්ථාන, ප්‍රවාහන පහසුකම් මෙන්ම ඒ සඳහා වන වියදම් වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමට ද හැකි බවත් ,තම ශ්‍රමයෙන් හෝ මේ සඳහා කැමති ඕනෑම අයෙකුට උපකාර කළ හැකි බවත් පාලිතා මහතා අවසන් වශයෙන් සඳහන් කළා.

මෙම පුණ්‍යකර්මය සඳහා 0462762429 යන දුරකථන අංකයෙන් හා info@medicaidsl.com ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ විය හැකි බවත්, මෙම සත්කාරය කණ්ඩායමක් ලෙස ඉදිරියට කරගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය ලබා ලබා දෙනු ඇති බවත් සඳහන් කරමින් සාකච්ඡාව අවසන් කළා

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos