Rupane Episode 274 – December 18 2021

18 December 2021 789 Views

අමයුරු කවි රස – රූපණ කවි චාරිකාව
“පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම”
(දෙවන කොටස)


Rupane Episode 274 – December 18 2021
Rupane – Online Video Magazine for Sri Lankan Community in Canada

අමයුරු කවි රස – රූපණ කවි චාරිකාව
“පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම” (දෙවන කොටස)

අමයුරු කවි රස – රූපණ කවි චාරිකාවේ ලෝකයේ පරිවර්තන කවි තුලින් ජීවිතය කියවීමට රූපණ මැදිරියට ආරාධනා ලැබුවේ ප්‍රවීණ ඉංග්‍රීසි ආචාරණී සුනේත්‍රා අලුත්දුන්නේ මහත්මියයි. ඉංග්‍රිසි භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක් ලෙස සේවය කරන සුනේත්‍රා අලුත්දුන්නේ මහත්මිය යූටියුබ් අවකාශය තුලින් ඉංග්‍රිසි භාෂාව හා සාහිත්‍ය ශ්‍රි ලාංකීය ශිෂ්‍ය ප්‍රජාව වෙත ගෙනයාමට කැපවිමෙන් කටයුතු කරන්නියකි. වෛරක්කාරයා, සත්රුවන් කිරුළු, වේශාන්තරණ, වෑමිල්ල වැනි නවකතා පොත් හතරක් ප්‍රකාශයට පත්කර ඇති ඇයගේ සත්රුවන් කිරුළු යොවුන් නවකතා පොත 2018 වසරේ සාහිත්‍ය සම්මාන සදහා නිර්දේශ විය. මෑතක දී චරණ රූපවාහිනිය මගින් විකාශනය වන කවි දහයට ගී දහයක් වැඩසටහන තුලින් පරිවර්තන කවි 10ක රස ශ්‍රි ලාංකීය ජනතාවට ගෙන ආ ඇය 2021 නොවැම්බර් 30වන දින සූර්ය පුජා නමින් පොතක් නේපාල ජාතික කිවිවර ක්‍රිෂ්ණ ප්‍රසාගේ කවි එකතුවක් නිකුත් කළා. ජාත්‍යන්තරයට ලාංකීය කවිය ගෙනයන ලන්ඩන් කවි පිටුවට මාසිකව කවි ලියන සුනේත්‍රා මහත්මිය ගීත කිහිපයක් ද මේ වන විට රචනා කොට ඇත.

            The Lake Isle of Innisfree නමින් අයර්ලන්ත ජාතික කවියෙකු වන W.D Yeat විසින් රචිත කවිය සුනේත්‍රා මහත්මිය විසින් ඉල්ලෙස්ෆී අයිලය ලෙස පරිවර්තනය කරන ලදී. Yeat මහතාගේ කුඩාකල අත්දැකීමක් පදනම් කරගෙන නිර්මාණය වුණු කවියක් ලෙස මෙම කවිය හදුන්වා දිය හැකිය. ඔහුගේ මිත්තනිය හා මුත්තා සමග වැවක පිහිටි පුංචි කොදෙවුවකට බෝට්ටුවකින් ගිය චාරිකාව හා එහි විවේක සුවයෙන් ගතකල කාලය පිළිබදව මතකය කවියකට එකතුකර ඇත. ඔහු වැඩිහිටියෙකු බවට පත්විමත් නගරයට සංක්‍රමණය විමත් සමග ඔහුට දැනෙන වෙහෙසකර, පීඩාකාරී ආතතිය හේතුවෙන් නිරන්තරයෙන් ඔහුගේ කුඩාකාලයේ ගතකල නිදහස් ස්භාව සෞන්දර්ය මිහිරියාව මතකයට නැගේ.

            මිනිසාගේ පලායෑම නැතහොත් කාර්යබහුල සමාජය සමග ගණුදෙනු කරන මිනිසා එම පරිසරයෙන් මෙහොතකට හෝ පලාගොස් නිදහස් සාමකාමී පරිසරයක කල්ගෙවීමට උත්සහ ගැනීමට ඇති රුචිකත්වය මෙම කවියෙන් මනාව පෙන්වා දෙයි. මෙය සමාජයේ බොහෝ දෙනෙකුගේ අත්දැකීමක් වේ. වෙහෙසකාරී බවත් සමග මෙම පලායාම මානවයා විසින් සිතුවිල්ලකින් හෝ සිදුකිරීම සුලභ වේ. මේ පීඩාකාරී සමාජයෙන් පලායෑමට ඇති අවශ්‍යතාව හා ඒ සදහා ඇති ආශාව මොහු මෙම කවියෙන් මනාව පෙන්වා දෙනු ලබයි.

            මෙම පීඩාකාරී සමාජයෙන් පළායෑමට ඇති අවශ්‍යතාව කෙතරම් ද යත් කවියේ පෙන්වා දෙනුයේ,

“අවදිව මේ නිමේෂයේ දී ම
යමි මම ඉල්ලෙස්ෆී අයිලය වෙත”

ලෙසයි.

            එහි කටු මැටි ගෙපලක් සාදා ඉතා සරල ජීවිතයක් ගත කිරීමට ඇති කැමැත්ත තව දුරටත් පෙන්වා දෙයි. එනම් වර්තමානයේ සිටින කෘතිම සමාජය කොන්ක්‍රිට් වනාන්තර වල කොටුවී ජීවිතය ගෙවීම හා ඒ ජීවතයෙන් ඈත් වීමට ඇති අවශ්‍යතාවය මෙමගින් තව දුරටත් පෙන්වා දෙනු ඇත. මිනිසාට ජීවත් වීමට ඉතා සුළු අවශ්‍යතා පමණක් පසක් කරන කවියා “වවා බෝංචි පැළ නවයක්” ලෙස කවියට ගෙන ඇත.

            ස්භාවධර්මය මිනිසාට අවැසි සෑම දෙයක්ම මිනිසාට ලබා දී ඇති අතර මිනිසා විසින් එය අහිමිකරගෙන ඇත. මිනිසාට නිදහස හා විවේකයේ අවශ්‍යතාව දැනෙනා විට එය මිනිසාට මතකයට නැගේ. කවියට අනුව “මී මැසි ගොමුව පවා කන වැකෙන” හුදකලාවට මිනිසා ප්‍රේමකරන මොහොතක් පවා ඇති බව පෙන්වා දෙනු ලබයි. නාගරික ජීවිතයට වඩා ග්‍රාමීය වනාන්තරයක ගත කරන ජීවිතයේ සුන්දරත්වය රසවිදීමට මහගු තෝතැන්නක් ලෙස පෙන්වා දෙනු ඇත. සිහින් සළුවක් බිම පතිත වන ලෙස හිරු රශ්මිය පොළවට වැටෙන ආකාරය පෙන්වා දෙන මොහු එය ක්‍රමිකව සිදුවන ස්භාවධර්මයේ අපූරු ක්‍රියාකාරකමක් ලෙස පෙන්වා දෙයි. හිරු එළිය පොළවට පතිත වී පොළව රත්වන විට පළගැටියන් කෑ ගසන හඩට පවා කවියා අවදානය යොමුකර ඇත. මැදියම් රාත්‍රිය යනු වනාන්තරයට තරුවලින් අලංකාර වූ හඳ පායා ඇති චමත්කාර ජනක රාත්‍රියකි. නගරයේ ඇති කෘතිම ලයිට් එළිවලට වැඩියෙන් අලංකාර වන ලෙස ගොඩනගා ගත් එළිමෙන් නොව ස්වදායක එළියක් චන්ද්‍රයාගෙන් ලැබෙනු ඇත.

            “අපරභාගය දම් පැහැති කිරණක්ය” මෙම කෙදෙවුවේ හෙදර් නම් දම් පැහැති මල් විශේෂයක් තිබේ. මෙම මල්වල ප්‍රතිබිම්බය වැවට පතිත වූ විට දම් පැහැය පරාවර්ථනය වීමත් සමග මුළු වැව් දියම දම් පැහැයක් ගන්නා බව මෙමගින් පෙන්වා දෙනු ඇත. එනම් මානව ජීවිතයේ වර්තමානයේ පවතින කාර්යබහුල වෙහෙසකාරී සමාජක්‍රමයත් සමග ඒ ආතතිය නැති කිරීමට හැක්කේ ස්භාවධර්මයට පමණක්ම බව මෙම කවිය අධ්‍යනයෙන් මනාව පෙන්වා දීමට උත්සහ ගෙන ඇත. 

මෙම කවියට අමතරව සුනේත්‍රා මහත්මිය විසින් පරිවර්තනය කර විචාරයට ලක්කල තවත් අපූරු කවියක් වන්නේ ඉන්දීය කිවිවර කේරළ කවියෙකු වන බාලචන්ද්‍රන් රායි‌ගේ සොරකම නම් කවිපන්තියයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Our Sponsors
Recent Videos